දෙයියෝ සාක්කි කියයිද?

මම නිදාගත් ඕනෑම වෙලාවකම සිහින දකිනවා - පොඩි කාලේ පටන් එහෙමයි. ඒ වගේම අවදි උනාම ඒවා හොඳට මතකත් තියෙනවා. “මම හීන දකින්නෙ නෑ” කියන අයත් සිහින දකිනවා කියලා මම අහලා තියෙනවා. නමුත් ඒ අයට ඒවා අමතකලු ඇහැරෙනකොට. මට නම් උදේ ඇස් ඇරුන වහාම දැකපු සිහින කොටස් නාටකයක කෙටි ජවනිකා වගේ පැහැදිලියට පෙනෙනවා. සිහිනයක දකින පැහැදිලි ‘ජවනිකා’ එකිනෙකට සම්බන්ද වන්නේ හරි ගැළපීමක් නැතුව - සිහිනෙන් හමුවෙන චරිත, වකවානු, ස්ථාන වැනි දේ ජවනිකාවෙන් ජවනිකාවට වෙනස් වෙනවා කිසිම හේතුවක් නැතුව. නමුත් සිහිනේ දකින වෙලාවේ ඒ ජවනිකා මාලාව හොඳින්ම තේරුම් ගතහැකි නාටකයක් වගෙයි දැනෙන්නේ.

ගිය මුලු සතියම මම දුටුවේ මෙවැනි කෑලි වලට කැඩීගිය සිහිනයක් වගෙයි.

මට පැහැදිලිවම මතකයි ගමේ ගිය බව. ඒ වගේම එදා අපෙ කරාඹු පලදාව වෙලෙන්දෙකුට බදු දීලා ලබාගත්ත රුපියල් පනස්තුන්දාහකුත් මා ලඟ තියෙනවා. මේ වගේම මාමලාගේ ගෙදර රෑ නැවතීම, අපෙ වත්තට ගොස් ටික්කා සමග කුරුම්බා බීම වගේ දේ මගෙ හිතේ ඇඳිලා තියෙනවා. නමුත් සම්පූර්න “කතාවට” අයිති තව වැදගත් සිදුවීම් කිහිපයක් ගැන මගේ මතකේ පැහැදිලි සටහන් අඩුයි. විශේෂයෙන්ම අප්පුහාමී නැමැති ‘දෙවියෙක්' හමුවීමත් එයින් මගෙ දවස වෙනස්වූ හැටිත් අඳුරු චායාවක් විතරයි. මේ ගැන මට සෑහෙන නොසන්සුන් බවකුයි දැනුනේ. ගෙදර අනික අයටත් මගේ අපහසුව බලපාන බව මම දැනගත්තේ මගෙ දුව කමලගෙන් අහපු ප්රශ්නෙකිමුයි.

“අම්මා… මොකද ඔයාගෙ හස්බන්ඩ් අර උකස් කරපු සෙම්බුව වගේ වාඩි වෙලා ඉන්නේ?”

“හ්ම්…. මොකද්දෝ හිතේ තියෙනවා වගේ, එදා ගමේ ගිහින් ආවට පස්සේ…. අප්පච්චිගෙන් අහන්න තේ එකක් ඕනද කියලා”

මම අම්මගෙයි දුවගෙයි කතාව ඇහුනෙ නෑ වගේ හිටියා.

දුව එලියේ සාලෙට ආවේ විනාඩි පහකට විතර පස්සේ, තේ කෝප්පෙකුත් ඇරගෙන.

“මේක මෙතන කනප්පුව උඩ තියන්නද, ඔලුව උඩට වක්කරන්නද?”

“ඇයි උකස් කරපු සෙම්බුවේ කටටම දාන්නෙ නැත්තේ?”

“හොඳ වෙලාවට මම එහෙම කිව්වේ. ඉස්සරවෙලා කියන්න ගියේ ‘අබිං කාපු වඳුරා වගේ’ කියලා. අම්මා බනියි කියලා කිව්වෙ නැත්තේ…. අප්පච්චිට ඇඟට අමාරුවක් එහෙම තියෙනවද?”

“ඇයි ඇහුවේ?”

“නෑ… කිසි සද්දයක් නැතුවට….”

“හිතුවද මං මැරෙයි කියලා?”

“ආනේ නෑ… අප්පච්චිට පිස්සු…. දැම්ම මැරෙන්න බෑ …. අපිට බූදලේ මිලියන් ගානක් වත් හදලා දෙන්නෙ නැතුව!” හයියෙන් හිනාවෙලා මගෙ ඔලුවත් අතගාලා නහයත් මිරිකලා මගෙ සෙරෙප්පුවෙන් පාරක් වදින්න ඉස්සර දුව ගේ ඇතුලට දිව්වා.

කමලා තේ එකකුත් ඇරගෙන ඇවිත් වාඩිවෙනකමුත් මගෙ හිනාව මුහුනෙන් මැකිලා ගියේ නෑ.

“ඇති රිනීටවත් පුලුවන් අප්පච්චී හිනස්සන්න”

“සිරිනී බිරනී කලුගල් උනත් හිනස්සයි. ඕකී යුනිවසිටි එහෙම ගියොත් මොක කරගනියිද මන්දා!”

කමලගෙ මුහුනේ හිනාව අඩු උනා හෙමින් හෙමින්.

“ඔයාට ගමේ ඉඩම් ගැන මොනවාහරි ප්රශ්නයක් තියෙනවද? ගමේ ගිහින් ආපු වෙලාවේ ඉඳන් ඈත බලාගෙන හිත හිතා ඉන්න එකමයි වැඩේ…”

මම ටිකක් වෙලා කමලගෙ මූන දිහා බලාගෙන හිටියා, කතා නොකර. ගමේ කතා වෙන කාටවත් කියන්න තියා මටමවත් පැහැදිලි නෑ,

“මම හිතුවා ආයෙත් ගමේ ගිහින් එන්න කියලා…. මගෙ හිතට ටිකක් අප්සෙට් ගතියක් තියෙන එක ඇත්ත. ඒක ඉඩමකට සම්බන්ද බවත් ඇත්ත…. මාමත් එක්ක කතා කරගන්න පුලුවන් ඒවා එක විදිහක් කරගන්න….”

“කැමැත්තක්… මොනවාහරි කරලා ඔය ප්රශ්නේ විසඳා ගන්න වටිනවා ඉක්මනටම…. මං කැමති නෑ නිලංතයි රිනියි ඔයා ඔහොම ඉන්නවා දකිනවට…”

“මං බලන්නම්කෝ මාමට කෝල් එකක් දීලා…”

………………………

මම සෙනසුරාදා මාමලාගෙ ගෙදරට එනකොට හවස් වෙලා. මම හිතුවේ දවල් කෑමෙන් පස්සේ ගියොත් මාමටයි නැන්දටයි වැඩිය කරදර නොකර රෑ නැවතිලා මගෙ හිතේ ඇති දේ මාමත් එක්ක කතා කරගන්න පුලුවන් වෙයි කියලා. කමලා හදලා දීපු කේක් ගෙඩිය කෑම මේසේ උඩ තියලා කුස්සි අම්මගෙන් තේ එකක් ඉල්ලගෙන ඉස්තෝප්පුවට ආවටත් පස්සෙයි නැන්දා එලියට ආවේ. දැන් නැන්දයි මාමයි දෙන්නම දවල්ට පැයක් දෙකක් නිදා ගන්න බව මම දන්නවා.

“හනේ…. පුතා ඇවිත් තේත් බොනවා, අපි තව නිදි!” මම හදිස්සියේ ආවේ ඇයි කියලා නැන්දා ඇහුවෙ නෑ. සමහරවිට මාමා කියන්න ඇති මම එයි කියලා.

“දැන් ඉතින් තේ බොන වෙලාවනේ” මාමට ඕනෑ කතාව වෙන පැත්තකට හරවන්න. “මං කිව්වා ටිකිරිබංඩට පුතා එනවා කියලා…. තව ටිකකින් එයි”

මාමා එක සැරේම මාතෘකාවත් වෙනස් කරලා මට ඉඩ සලසලා දුන්නා මගේ වැඩසටහන ඉස්සරහට ගන්න.

“මාමටත් එන්න පුලුවන්ද? අර මලුව කෑල්ලේ වැඩේ ඉවරයක් කරන්න? අපි ටික්කත් ආපුවාම යමුද ඒ පැත්තට?”

“ඕක හෙට උදේ බැරිවෙයිද? තව හරියට තේ එක වත් බොන්ට බැරිඋනා!” නැන්ද කැමති නෑ කිසි දෙයක් හදිස්සියට කරන්න.

“අනේ නැන්දා මේක මගෙ ඔලුවේ ගිය සතියෙම කැරකෙනවා - ඉක්මනට ඉවරයක් කරගන්න තරමට හොඳයි”

…………………….

“ඉතින් මොකද්ද පුතා කරදරේ?”

මාමා මෙහෙම ඇහුවේ මලුව වත්තේ ලොකු ගල් පොත්ත උඩ වාඩි වෙලා, ටික්කා ගෙනා රා කෝප්පයක් බොන ගමන්. ටිකිරිබංඩා රා මුට්ටියත් අඬු නැති කෝප්ප දෙකකුත් ගල උඩ තියලා “මං කඩේ ගිහින් එන්නං නිලමේ” කියලා මහපාර පැත්තට ගිහින් විනාඩි පහක් විතර. ඒ විනාඩි පහේ වචනයක්වත් කියවුනේ නෑ.

“මාමා… ගිය ඉරිදයින් පස්සේ මගෙ මොලේ ටිකක් අවුල් වගේ…. මෙහෙදී සිද්ද වෙච්ච දේ නිසා තමා මේ කරදරේ කියලා මට හිතෙන්නේ….”

“පුතා ඔය කියන්නේ … අප්පුහාමී ගැනද?”

මගේ කටින් වචනයක් එලියට ගන්න මට සෑහෙන වෙලාවක් ගියා. මගෙ අදහස් එකලස් කර නොගෙන කතාව කොතැනින් පටන්ගන්නවද කියලා මට තේරුමක් නෑ. අනික් අතට මගෙ හිතේ තියෙන දෙගිඩියාව තේරෙනවනම් තේරෙන්නේ මාමට.

“මාමා දන්නවනේ මම පොඩිකාලේ ඉඳන්වත් හොල්මන්, දෙවිවරු වගේ දේ ගැන විශ්වාසයක් තිබුනෙ නැතිබව. එහෙමනම්… එහෙමත් තියෙද්දී… ගිය සතියේ මොකද මෙහෙ ඇත්තටම උනේ? මගෙ හිත අප්පුහාමී ‘දෙයියෙක්' කියලා පිලිගන්නෙ නෑ, එක අතකින්. අනික් අතට, මට තේරුම්ගන්න බැරි දෙයකුයි සිද්ද වෙන්න ඇත්තේ…. ඒක පැහැදිලි කරන්න පුලුවන් මාමට විතරයි….”

මාමා මා දිහා බැලුවේ බොහොම කරුනාවෙන්.

“ඇයි පුතාට මේක තේරුම්ගන්ට ඔය තරම් ඕනෑකම? සිද්දවෙච්ච දේ සිද්ද වෙලා ඉවරයි. ආයෙ ඒවා ගැන කනස්සල් වෙලා වැඩක් තියෙනවද?”

“මට විතරක් නෙවෙයි ප්රශ්නේ -කමලා අහනවා මොකද්ද උනේ කියලා. පොඩි උන් දෙන්නා මගෙ වෙනස ගැන විහිළු කලාට ටිකක් බයෙන් වගේ ඉන්නේ…. ඒ කියන්නේ කවදාවත් නැතුව මම චංදෙන් පැරදුන කෙනෙක් වගේ ගෙදරටවෙලා ඉන්න එක ඒ අයට පුරුදුම නෑ… මං හිතන්නේ කට්ටඬියෝ ගේන තත්වෙට ආවෙ නැතුවට මං ගැන සැලකිල්ලෙන් ඉන්නේ කාටවත් නොකිව්වට මට ලෙඩක්ද කියලා හිතලා වෙන්න ඇති ….අනේ මංදා!”

මාමා ටිකක් කල්පනා කරා, අත් දෙකෙන් ආරුක්කුවක් හදලා නිකට ඒක උඩ තියාගෙන.

“කමලයි පොඩ්ඩොයි ගැන විතරක් හිතලා බෑ පුතා ප්‍රශ්නේ විසඳන්ට …. පුතාගෙ හැසිරීම ඒ අයට වැදගත්. ඒ බලපෑම අනුව ඒ අයගෙ හැසිරීම වෙනස්වෙන එක පුදුමයක් නෙවෙයි. ඒ කියන්නේ, පුතා තමා කරන දෙයක් කරන්ට ඕනෑ මේක විසඳා ගන්න”

“විසඳන්න තියෙන ප්රශ්නේවත් මම හරියට දන්නෙ නෑ මාමා!”

එතකොට මාමා පරන පුරුද්දට ගුරු වරයෙක් වගේ උදාහරනයක් ඇද ගත්තා.

“පුතා හිතලා බලන්ට රට දියුනුකරන බලාපොරොත්තුවෙන්, පිරිසිදු හිතකින් එක දේශපාලන පක්ෂේකට දිගටම වැඩකරපු කෙනෙකුට අහුවුනා කියලා ඒ පක්ෂේ ලොක්කෝ පගා ගන්න හොරු රැලක් කියලා…. මොකද මිනිහා කරන්නේ?”

මට හිනා ගියේ මගෙ ප්රශ්නෙට වඩා මේක බොහොම සුලබ දෙයක් කියලයි.

“… පක්ෂේ මාරු කරනවා…. නැත්තම් පොලිසියට හරි ඒ වගේ තැනකට කියනවා හොර වැඩ ගැන…. ඒත් නැත්තම් ඒ හොරුන්ටම කියනවා හොර වැඩ අහුවෙලා කියලා - සමහරවිට පත්තරේට ලියනවා කියනවා…. ඒත් නැත්තම් පුලුවන් කිසි වැරැද්දක් වෙලා නෑ කියලා හිටියා වගේම වැඩ කරගෙන ඉන්නවා… ඒ ඇතිද?”

“වෙල් ඩන්!... නරක නෑ ක්රම සහ විධි!... දැන් හොර වැඩ වෙනුවට අප්පුහාමී කියලා දෙවියෙක් හම්බුනා කියලා හිතාගන්න….”

“මම මොන පක්ෂෙට වැඩකරන වෙලාවෙද?” මට මේක තවම විහිලුවක්.

“දෙවි දේවතාවෝ, හොල්මන් එහෙම විශ්වාස නොකරන පක්ෂෙට!”

එතෙන්දී මට තව ටිකක් හිතන්න සිද්දවුනා. මෙතන ලොකුම ප්රශ්නේ තියෙන්නේ මගෙ හිතේ - ගිය සතියේ මට දෙවියෙක් මුනගැහුනද නැද්ද කියන එක. මේ ප්රශ්නේ නොතකා හැරලා ඉස්සර හිටියා වගේ ඉන්න අමාරුයි; මට විතරක් නෙවෙයි, පවුලේ අනික් අයටත් එක්ක. මාමගෙ උදාහරණය අනුව ආයෙ ක්රම තුනයි ඉතිරි.

පක්ෂේ මාරු කිරීම - මට පුලුවන් නම්, අද පටන්, දෙවිවරු, හොල්මන් එහෙම ඉන්න බව නිශ්චිතව පිලිගන්න, මගෙ ප්රශ්නේ එතනින් ඉවරයි. යම් කෙනෙක් දෙවියන් පුදන්න මට කතා කලොත් “මම ඕවා විශ්වාස කරන්නෙ නෑ!” කියන්න බෑ මීට පස්සේ. “දෙවියන් වහන්සේ” සුනාමි එව්වේ අපේ සුභසිද්ධියට” කියලා කවුරුත් කිව්වොත් මීට පස්සේ මම කට වහගෙන ඉන්න ඕනෑ. ඊටත් වැඩිය, රෑවෙලා කොහෙවත් යනකොට හොල්මන් දකින්න ලැබෙයි කියන අදහස හිතේ තියෙන්න ඕනැ. පක්ෂේ මාරු කිරීම මට ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි වගේ.

පොලිසියට දැනුම් දීම - මම කාටද දැනුම් දෙන්නේ? දේවාලෙට? පංසලට? ග්රාමසේවකට? නෑදෑයන්ට? මේ එකක්වත් හරියන දෙයක් නෙවෙයි. මේ අයගෙන් බාගයක් “දන්නවා” දෙවිවරු/හොල්මන් ඇත්ත කියලා. අනික් බාගේ කියයි මට ඔල්මාදේ කියලා.

හොරුන්ට කතා කිරීම - ඒ කියන්නේ මම අප්පුහාමිට කෙලින්ම කතා කරන්න ඕනෑ. නමුත් ඒ කියන්නේ අප්පුහාමී ඇත්තම කෙනෙක් කියලා ඉස්සරවෙලා පිලිගන්න ඕනෑ - පක්ෂේ මාරු කරනවා වගේ. අනික මම අප්පුහාමිගෙන් මොනවද අහන්නේ - “ඔබ තුමා ඇත්තටම මෙතන ඉන්නවද?” කියන ප්රශ්නේ මටම දැනෙනවා විහිලුවක් කියලා.

“මාමා කියන්නේ මම දෙවියෝ/හොල්මන් ඉන්නවා කියලා පිලිගත්තොත් ප්රශ්නේ ඉවරද?”

මාමා ටිකක් හිනාවෙලයි කතාව පටන්ගත්තේ - බොහොම සන්සුන් විදිහට.

“පුතාගෙ ප්රශ්නේ දෙවියෝ ඉන්න නැති එක නෙවෙයි නේද? මං කියන්නේ අපි අප්පුහාමිට කියලා බලමු”

මට ආයෙත් අප්පුහාමී හමුවෙන්න ආසාවක් නෑ. ගිය සතියේ හමුවීමෙනුයි මේ ප්රශ්න සේරම ආවේ. නමුත් මාමගෙන් ගැලවෙන්නත් බෑ.

“ටිකිරිබංඩා කෝප්ප එහෙම ඇරගෙන යයි. මම කිව්වා ආයෙ අපෙ ගෙදර යන්න ඕනැ නෑ කියලා. අපි යමු අට්ටික්කා ගහ පැත්තට පුතා”

…………………..

“ඔබතුමාට මම ඉන්නවා කියලා විශ්වාස කරන්න බෑනේ? මම අද ආවෙ නැත්තම් ඒක ඔප්පු වෙනවද?”

මාමයි මමයි අට්ටික්කා ගහ ලඟ බෝක්කුවට කිට්ටුවෙනකොට අප්පුහාමී බෝක්කු බැම්මේ වාඩිවෙලා අපි එනකම් බලාගෙන හිටියේ. එයාගෙ කතාවෙන් මට තේරෙනවා මාමගෙයි මගෙයි සාකච්චාව ගැන අප්පුහාමී දන්නවා කියලා.

“අපි මුනගැසුනෙ නෑ කියන්නේ අප්පුහාමී නෑ කියන එක නෙවෙයි කියලා අපි දෙන්නම දන්නවා. දැන් මට අප්පුහාමී පේනවා, කටහඬ ඇහෙනවා - ඒක සම්පූර්න ඇත්ත…. මට තියෙන එකම ප්රශ්නේ ‘අප්පුහාමී කවුද’ කියන එකයි”

“මම මහත්තයට ගිය සතියේ කිව්වා මම කවුද කියලා. මම මේ අට්ටික්කා ගහට අරක් ගත්ත දෙවියා! ග්රාමසේවකගෙන් ලියුමක් ඕනැද මං කියනදේ විශ්වාස කරන්න?”

“ජීවිතේ කවදාවත් විශ්වාස නොකරපු දෙයක් මේ….”

“එහෙනම් රුපියල් හැටදාහක් ගෙනාවද?”

“මොනවා!”

“මං දීපු බලේ පාවිච්චිකරලා කරාඹු මුදලාලිගෙන් ගත්ත ගාන? දැන් ඒක ආපහු දෙන්න ඕන නේ!”

“හී ගොට් යූ දෙයා!” මාමට හිනා.

මම අප්පුහාමී දිහා බලාගෙන හිටියේ මොනවා කියන්නද නොදැන.

“ලොකු මහත්තයගෙ දේශපාලන පක්ෂ උදාහරනේ බොහොම හොඳයි. ඒකට හිතාගත්ත උත්තරත් නරක නෑ - ඔවු ඔවු, මම ආයෙ කියන්න ඕනැ නෑ ඔබතුමාලගෙ කතාව වගේම හිතපු දේවලුත් මම දන්නවා - දැන් තෝරගත්ත උත්තරේ බලමු”

අප්පුහාමී නැගිටලා අපි දෙන්නා ඉස්සරහ හෙමින් හෙමින් එහාට මෙහාට ඇවිද්දා, හරියට භාවනාවේ යෙදෙන හාමුදුරු කෙනෙක් වගේ. හරියට විනාඩි තුනකට පස්සේ නැවතිලා අපි දිහා බැලුවේ කට කොනකින් හිනා වෙලයි.

“මගෙ සක්මන නියමයි නේද? දවස් කීපයක් ගියා පුරුදු වෙන්න! …. මහත්තයගෙ ප්රශ්නේ තියෙන්නේ මම ඉන්නවද නැද්ද කියලා නෙවෙයි. මොකද මම පෙනෙන්න ඉන්නවා. අට්ටික්කා ගහ තියෙන එක ගැන මහත්තයට ප්රශ්නයක් නෑ. ගහේ කූඹි ඉන්නවා කියලා මහත්තයා සසල වෙන්නෙ නෑ. එහෙනම් මොකද්ද කරදරේ දෙවිකෙනෙක් ගැන?”

“ගස්, කූඹි වගේ දේ ගැන අපි දන්නවා පොඩිකාලේ පටන්. නමුත් දෙවිවරු?”

අප්පුහාමී ආයෙත් හිනා වුනා.

“මහත්තයගෙ අද්යාපනේ අඩු පාඩුකම් මට කියලා වැඩක් නෑ!”

“දෙවි දේවතාවෝ ගැන මම බොහොම කියවලා තියෙනවා පොත පතේ - ආගම්වලට සම්බන්දකම් ඇතිත් නැතිත් පොත් පත්. නමුත් මගෙ වැටහීමට අනුව දනගහන්න වටින දෙවියෙක් ගැන මම කියවලා නෑ - මට සමාවෙන්න ඒක නොහික්මුණු කතාවක්නම්!”

“අපෝ නෑ - මා ගැන ඔයිට වඩා බොහෝම නරක දේ කියවිලා තියෙනවා! නමුත් මහත්තයගෙ ප්රශ්නේ දැන් පැහැදිලියි”

“මොකද්ද?”

“මහත්තයට දෙවියෝ ගැන වැඩි ප්රශ්නයක් නෑ, විශේෂයෙන්ම අපි දෙන්නා මුනගැහුනට පස්සේ. මහත්තයගෙ බය තියෙන්නේ දෙවියන්ට ගරු කරන එක, පූජා තියන එක, දෙවියන්ගෙ හොඳ කියන එක - දෙවියෝ හිටියට මහත්තයට ගානක් නෑ උන්ට වැඳුම් පිඳුම් කරන්න නැත්නම්. හරිද?”

අප්පුහාමිගෙ කතාවේ ඇත්තක් තියෙනවා. ඕන දෙවියෙක් ඉන්න විදිහකට හිටියට මට ප්රශ්නයක් නෑ මගෙන් යමක් බලාපොරොත්තු වෙන්නෙ නැත්නම්. මට පුදුම සතුටක් දැනුනා. විශාල බරක් මගෙ ඔලුවෙන් ඉවත් වෙලා වගේ මට දැනුනා.

“අප්පුහාමී හරියටම හරි! තව ඔයවගේ දෙවිවරු හැමතැනම ඉන්නවද?”

මෙතෙන්දී මාමා කතාකලේ හිනාමුසු මුහුනින්.

“පුතා අප්පුහාමිත් එක්ක ටිකක් කතා කරලා එන්ට. මම නම් යනවා ගෙදර. නැන්දට මම කියන්නම් ටිකිරිබංඩත් එක්ක තව ටිකක් කතා කරලා එනවා කියලා පැය බාගෙකින් විතර ………….ටෝච් එක ඕන නැතිවෙයි. අප්පුහාමී එලියක් දෙයි!”